පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘති කාර්යාලය සහ රත්නපුර මහ නගර සභාව එක්ව සිදු කරන සේවාවකි.
රත්නපුර ඔරලෝසු කණුව ඓතිහාසික සහ වාස්තු විද්‍යාත්මක පසුබිම
හැඳින්වීම
ඈත අතීතයේ සිට ම ලෝකයේ ප්‍රසිද්ධ නගර අතළොස්ස අතරින් එක් නගරයක් සේ රත්නපුර නගරය හඳුන්වාදිය හැකිය. එසේ ප්‍රසිද්ධ වීමට හේතුවූයේ ලෝකයේ වටිනාම මැණික් උපදින ප්‍රදේශයක් වූ බැවින් ය. 3240Km2 වූ ප්‍රදේශයක පැතිර ඇති (කටුගම්පල, 2005, පි. 01) විශාල ඝර්ම කලාපීය උද්‍යානයක් හා සමාන මෙම නගරය (ගයිගර්, 2004, පි. 143) වර්තමාන පරිපාලන බෙදීම් අනුව සබරගමු පළාතේ අගනුවර ලෙස පවතී. උතුරින් කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්ට ද, දකුණින් හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ට ද, බස්නාහිරින් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්ට ද, නැගෙනහිරින් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ට ද මායිම්ව රත්නපුරය පිහිටා ඇත (Abeyawardana, 2002, p.09)
අදින් වසර 40,000 පමණ අවධියේ සිටම බලන්ගොඩ මානවයා යැයි නම් ලද ((Deraniyagala, 2004, p.16) (Perera, 2010, p.02) මානව ජනාවාසකරණයකට මෙන්ම හිපපොටේමස්, රයිනෝසිරස්, ගවරා වැනි සත්ත්ව සන්නතියක් වාසය කළ (Deraniyagala, 2004, p.14) (මනමේන්ද්‍ර ආරච්චි, 2011, පි.25) දීර්ඝ ප්‍රාග් ඉතිහාසයක් හිමි භූමියක් සේ රත්නපුරය නම් කළ හැකිය. ඓතිහාසික යුගයේ දී ද අඛණ්ඩ ජනාවාසකරණයක් පැවති බැව් කූරගල සහ සංඛපාල විහාරය වැනි ස්ථානවලින් හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන (Paranavitana, 1970, p.58-59) ද, ඉන් පසුකාලයට අයත් බුදුගල, මහා සමන් දේවාලය, දෙල්ගමු විහාරය, කොට්ටිඹුල්වල විහාරය ආදී ස්ථානයන්ගෙන් ද පැහැදිලි වේ.
19 සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මෙරට නතුවීමෙන් අනතුරුව ද රත්නපුරය වැදගත් භූමි භාගයක් වූ බැව් එසමයේ දී ගොඩනගන ලද ස්මාරකයන්ගෙන් පැහැදිලි වේ. රත්නපුර බලකොටුව, වේස් අනුස්මරණ ශාලාව, තානායම, පොලීසිය, දුම්රිය ස්ථානය ආදී යටත් විජිත ස්මාරක අතර රත්නපුර නගර මධ්‍යයේ ම නිමවා ඇති වැදගත් ඉදිකිරීමක් සේ ඔරලෝසු කණුව නම් කළ හැකිය.
ඔරලෝසු කණුවේ ඉතිහාසය
ජර්මනිය විසින් 1914 දී අරඹනු ලැබ 1918 දක්වා ඇදී ගිය යුද්ධය හෙවත් පළමුවන ලෝක මහා සංග්‍රාමය සඳහා ප්‍රතිපාක්ෂික මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාක්ෂික හමුදාව යටතේ මෙරට සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ද ඊට සහභාගී වීමට සිදුවිය. ඒ ශ්‍රී ලංකාව ද එම අවධිය වනවිට ඔවුන ගේ යටත් විජිතයක් වූ බැවින් ය. එලෙස යුද්ධයට ගිය බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් සිහිපත් කිරීම උදෙසා මෙරට විවිධ ස්මාරක ගොඩනැංවීමට බ්‍රිතාන්‍ය පාලකයෝ ක්‍රියා කළහ. රත්නපුර ඔරලෝසු කණුව ද එසේ නිර්මාණය වූ ස්මාරකයකි.
Iවන ලෝක මහා සංග්‍රාමය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සුදු ජාතිකයින් 93 දෙනෙකු සහභාගි වූ අතර, මොවුන්ගේ සම්පූර්ණ නාම ලේඛනය දැනට වේස් අනුස්මරණ ශාලාව හෙවත් රත්නපුර මහජන පුස්තකාලයේ ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් මරණයට පත්වූ විසි දෙදෙනෙකු සඳහා මේ ස්මාරකය ගොඩනංවා ඇත. මෙම ඔරලෝසු කණුව ඉදිකිරීම පිණිස යුද අනුස්මරණ (War Memorial Committee) මගින් සැලැසුමක් තෝරා ගැනීමට තරඟයක් පවත්වන ලද අතර හොඳම සැලැසුමට රු. 300 ත්‍යාග මුදලක් පිරිනමා ඇත (Abeyaratne, p.05)
තරඟය සඳහා සැලැසුම් 10ක් ඉදිරිපත් වූ බවත් ඉන් තුනක් වැඩිදුර සලකා බැලීමට තෝරා ගන්නා ලද බවත් එවකට රත්නපුර ඒජන්තව සිටි ජී.එෆ්.ආර්. බ්‍රවුනින්ග් (G.F.R. Browning) මහතා තම දිනපොතේ සටහන්කර ඇත. ඉහත දක්වා ඇති වර්තමාන ඔරලෝසු කණුවේ සැලැසුම බෙල්-කොට් (Bell-Cot) නමැති ආයතනයකින් කළ බැව් එහි ඇති සටහනෙන් තහවුරු වේ. එහි දී ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සි (Times Supply Agency) ආයතනයෙන් ඉදිරිපත්කර තිබූ පවුම් 287ක් වටිනා ඔරලෝසුව පිළිබඳ ඇස්තමේන්තුව අනුමත කරන ලද බවත් වැඩිදුරටත් බ්‍රවුනින්ග් මහතා ගේ සටහන්වල සඳහන් වේ (do).
සම්පූර්ණ වැඩ අවසන් කළ හෝරා ස්ථම්භය 1922 මාර්තු මස 17 දින එවකට රත්නපුර ඒජන්තවරයා වූ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් (H.W. Cardington) මහතා ගේ අවධියේ දී විවෘතකොට ඇත (do). තවද මේ සඳහා වැයවූ මුළු වියදම රු. 11,000ක් බව ද සඳහන් වේ (සිරිවර්ධන, 1968, පි.32) (විජේරත්න, 2013, පි.57). ඔරලෝසුව සවිකළ පසු සිදුව ඇත්තේ තරමක් හාස්‍යජනක ක්‍රියාවකි. එනම් එවකට දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයා ගේ වාර්තාවට අනුව ඔරලෝසුවේ පැය හා මිනිත්තු කටු විරුද්ධ දෙසට ගමන් කරන්නට වූ බවත් පසුව එය නිවැරදි කළ බවත් සඳහන්කර ඇත (Abeyratne, p.05)
ඔරලෝසු කණුවේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ
වෘත්තාකාරව සකසන ලද තණ පිටියක් මත ගොඩනගා ඇති හෝරා ස්ථම්භයේ පාදම කැපූ කළු ගලින් සාදා ඇති අතර බිත්ති සියල්ල ම ගඩොලින් බැඳ ඇත. අද වනවිට ඔරලෝසු කණුව වටා වෘත්තාකාර කොටසක් පමණක් ඉතිරි ව තිබුණ ද විසිවන සියවස මුල්භාගයේ එය විලියම් ග්‍රෙගරි (ක්‍රි.ව. 1972 - 1877) ආණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කළ ජල මලක් ද සහිත (විජේරත්න, 2017, පි. 125) විශාල වට රවුමක් ලෙස පිහිටා තිබූ බැව් පැරණි ඡායාරූප සහ සැළසුම් ආධාරයෙන් හඳුනාගත හැකිය.
හෝරා ස්ථම්භය ගොඩනගා ඇත්තේ අඩි 14ක් දිගැති, අඩි 02ක් පළලැති කොන්ක්‍රීට් ඇතුරුමක අඩි 05යි අඟල් 06ක් උසැති කළුගල් ආධාරකයක් මත ය. එහි ඇතුළත ගණ පස් ස්ථරයකින් පුරවා ඇති බැව් සැළසුම නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වේ. පොළොව මට්ටමේ දී ඔරලෝසු කණුවේ පාදමේ දිග, පළල අඩි 09යි අඟල් 06ක් වුව ද ඔරලෝසු මුහුණත මට්ටමේ දී එය අඩි 08යි අඟල් 4.5 කි. පාදමේ දී අඩි 02ක් වන බිත්තියේ පළල ද, ඔරලෝසුව මට්ටමේ දී අඩි 01යි අඟල් 08 කි. කණු පාදමේ පියගැට දෙක මෙන්ම පහත බිත්තිවල සිව් කොණ අලංකාරය සහ ශක්තිමත්භාවය සඳහා කැපූ කළුගල් කුට්ටි යොදාගෙන ඇත. ලීස්තරයන්ගෙන් අලංකෘත ඔරලෝසු කණුව ඇතුළුවන දොරටුව පිහිටුවා ඇත්තේ රත්නපුර මහජන පුස්තකාලය දෙසට වන්නට ය. සෙසු තුන් දිශාවේ ද දොරටු ආකෘතියට ලීස්තරවලින් කළ එක හා සමාන නිර්මාණයන් දක්නට ලැබෙන අතර ඒවායෙහි මුදුනත ක්‍රි.ව. 1914 - 1918 යනුවෙන් පළමු ලෝක යුද්ධය පැවති කාලය සටහන් කර ඇත. එම වර්ෂ අතරමැද වෘත්තාකාර මල් මාලාවක් වැනි නිර්මාණයකි.
ඇතුළුවන දොරටුව වටා ඇති ලීස්තරයේ පමණක් වෘත්ත 24ක මෝස්තරයක් දක්නට ලැබෙන අතර අනෙක් පැති තුනේ ම වෘත්ත 28 බැගින් දක්නට ලැබේ.
ඡායාරූප අංක - 05, 06, 07, 08
ඇතුළුවන දොරටුව සහ ආකෘතිමය දොරටු ත්‍රිත්වය
සෙසු ආකෘතිමය දොරටු තුනෙහි ම මධ්‍යයේ ආරුක්කු හැඩයෙන් කළ ඉදිකිරීමේ මනාව ඔපදැමූ කිරිගරුඬ පුවරු දෙක බැගින් අල්ලා ඇති අතර යුද්ධයෙන් මියගියවුන් පිළිබඳව රචිත විස්තර දක්නට ලැබෙනුයේ ඒවායෙහි ය. දොරටුවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඇති පුවරුවෙහි මෙම හෝරා ස්ථම්භය පිහිටුවීමේ අරමුණත් සෙසු පුවරු දෙකෙහි යුද්ධයෙන් මියගියවුන් ගේ නාම ලේඛනත් සටහන්කොට ඇත.
ඡායාරූප අංක - 09, 10, 11
ඔරලෝසු කණුව පිහිටුවීමේ අරමුණ සහ යුද්ධයෙන් මියගියවුන්ගේ නාම ලේඛන කිරිගරුඬ පුවරුවල සටහන් කර ඇති ආකාරය
මේ මළවුන් ගේ නාමාවලියෙහි එන ඩබ්ලිව්.ඊ. ස්පෙල්ඩවින්ඩ් (W.E. Speldewinde) මහතා රත්නපුර ලෝකල් බෝඩ් සභාවේ වැඩ පරීක්ෂකවරයෙකි. යුද්ධයට ගිය ඔහු යාත්‍රා කරමින් සිටි නැව ඒඩ්න් අසළ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මුහුදුබත් වන්නට වූ විට ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගගෙන ඇත. නමුත් ඔහුට අමතක වූ සිගරැට් පැකට්ටුව ලබාගැනීමට ගිලෙමින් තිබූ නැවට ආපසු ගිය ගමනේ දී මරුමුවට පත්වූ බවත් සඳහන් වේ (ගුණරත්න ඇතුළු තවත් අය, 1987).
ඡායාරූප අංක - 12
දිගටි කවුළුව
ඡායාරූප අංක - 13, 14
රෝම ඉලක්කම් සහිත විනිවිද පෙනෙන ඔරලේසු මූණත
මෙම දොරටුවලට ඉහළින් සිව් දිශාවේ ම දිගැටි කවුළු (ඡායාරූප අංක 12) හතරක් දක්නට ලැබෙන අතර අද වනවිට වෘත්තාකාර කවුළු සහිත කොන්ක්‍රීට් ආවරණයක් තිබුණ ද අතීතයේ වීදුරු පටිවලින් සුළං එන අකාරයට කළ සැකැස්මක් Glass Louvers) තිබී ඇති බැව් සැළසුමට අනුව පැහැදිලි වේ. ඔරලෝසු මුහුණත් සවිකර තිබෙනුයේ ඊට ඉහළින් ය. රෝම ඉලක්කම් සටහන්කර ඇති එම ඔරලෝසු මුහුණත් වීදුරු හා සමාන අමුද්‍රව්‍යයකින් නිමවා ඇති අතර එය ආලෝකය විනිවිද යන සුළු ය (ඡායාරූප අංක 13). එය නිෂ්පාදනය කළ ආයතනය සහ නගරය වශයෙන් Benson London යනුවෙන් එහි සටහන්කර ඇත.
ඔරලෝසු කණුවේ ඉහළ ම වර්තමානයේ දක්නට ලැබෙනුයේ බෞද්ධ වාස්තු විද්‍යාත්මක ස්වරූපයකි. එනම් මධ්‍යයේ සිව් දිශාවේ ම වෘත්තාකාර නෙළුම් මලක් සහිත සතරැස්ව කළ ආකෘතියක් දක්නට ලැබෙන අතර, ඒ මත චෛත්‍යයක කොත් කැරැල්ල මෙන් ඉහළට නැගි කොටසකි. ඇතුළත හිස් සතරැස්ව සිව් දිශාවේ ම තනා ඇති කොටස් මත ද මෙවැනි ම කුඩා කොත් කැරළි දක්නට ලැබේ.
ඡායාරූප අංක - 15
කොත් කැරළි හා සමාන ඔරලෝසු කණුවේ ඉහළ කොටස
එනමුදු අතීතයේ මුදුනත තිබී ඇත්තේ ඉංග්‍රීසීන්ට අනුගත වූ ගොතික් වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයක් බැව් පැරණි ඡායාරූපවලින් හඳුනාගත හැකිය. ඔරලෝසුවට උඩින් ඇති දන්ත මෝස්තරයට (Dentine Pattern) ඉහළ කොටස තිබී ඇත්තේ සතර දිශාව ම කපරාරු නොකළ මනාව නිමවූ ගඩොලින් (Pointed Finished Bricks) කළ කෝණාකාර මුදුනතක් සහිත කෙටි බැමි වශයෙන් ය. එහි මධ්‍යයේ පිරමීඩයක හැඩයට කළ කේතුකාකාර කොටස දැව පරාලයන්ගෙන් නිර්මාණයකර තඹ ඇණවලින් රැඳවූ උඩරට සම්ප්‍රදායේ පෙති උළු සෙවිලිකර තිබී ඇත. මුදුනේ ම දැව කොතක් මත රැඳවූ අකුණු සන්නායකි. දැනට පවත්නා ඉහළ කොටස නිර්මාණය කර ඇත්තේ 90 දශකයේ මහින්ද රත්නතිලක මහතා නගරාධිපතිව සිටි කාලයේ දී ය.
සැළසුම් අංක - 03, 04
ප්‍රධාන සැළසුමේ ඇති ඔරලෝසු කණුවේ උපරිභාගයට අදාළ සැළසුම්
ඡායාරූප අංක - 16, 17
ප්‍රධාන සැළසුමේ ඇති ඔරලෝසු කණුවේ උපරිභාගයට අදාළ සැළසුම්
ප්‍රධාන සැලැසුමේ නොමැති වුව ද Titus නමැති වෙළඳ නාමය යටතේ ඔරලෝසු කණුවේ ලාම්පු සවිකර තිබූ බැව් රත්නපුර මහා නගර සභාව සතුව ඇති ක්‍රි.ව. 1934 වර්ෂයේ ලිපියකට අනුව පැහැදිලි වේ. ඩබ්ලිව්.ඒ. කුසල්හාමි නැමැත්තෙකු විසින් සැලැසුම් කරනු ලැබූ එහි එකක මිල රු. 3.50ක් වශයෙන් දක්වා තිබුණ ද ඔහුට ගෙවා ඇත්තේ රු. 03 බැගින් රු. 12.00 කි.
ඔරලෝසු කණුවේ ඇතුළත ස්වරූපය
දොරටුවෙන් ඇතුල් වූ පසු කණුවේ ඉහළට නැගීම පිණිස පළමුව ගල් පඩි 13ක් දක්නට ලැබෙන අතර ඉන්පසු මුදුනට යනතෙක් තිබෙනුයේ තේක්ක දැවයෙන් කළ පියගැට ය. අද වනවිට අත්වැටක් නොමැති වුව ද එකල තිබී ඇති බැව් සැළසුමට අනුව පැහැදිලි වේ.
ඡායාරූප අංක - 18, 19
ඉහළ නැගීම පිණිස ගලින් සහ දැවයෙන් කළ පියගැට
හෝරා ස්ථම්භයේ මුදුනත ඔරලෝසුවල වයින් යන්ත්‍රය විශාල යකඩ බාල්ක දෙකක් මත තැබූ දැව සහ වීදුරු පෙට්ටියක තැන්පත්කර ඇත. දැති රෝද රාශියකින් සමන්විත කොල පැහැති මෙම වයින් යන්ත්‍රය 1921 වර්ෂයේ නිෂ්පාදනයකොට ඇති අතර එය නිපදවූ ආයතනය මෙහි කුඩා ආයත චතුරස්‍රාකාර පුවරුවක සටහන්කර ඇත.
ඡායාරූප අංක - 20, 21
දැතිරෝද සහිත ඔරලෝසුවේ විශාල වයින් යන්ත්‍රය
වයින් යන්ත්‍රයේ මෙන් ම පිටත ඔරලෝසු මුහුණතේ ද සටහන්කර ඇති ආකාරයට නිෂ්පාදිත ආයතනය සහ එහි ලිපිනය සේ දක්වා ඇත්තේ ජේ.ඩබ්ලිව්. බෙන්සන් ලිමිටඩ්, ලුඩ්ගේට් හිල්, ලන්ඩන් - J.W. Benson Limited, Ludgate Hill, London යනුවෙන් ය.
ඡායාරූප අංක - 22, 23
වයින් යන්ත්‍රයේ සහ ඔරලෝසු මූණතේ නිෂ්පාදිත ආයතනය සටහන් කර ඇති ආකාරය
තවමත් ඉතා හොඳ තත්ත්වයෙන් ක්‍රියාත්මකවන මෙම යන්ත්‍රය දින 12කට වරක් වයින් තැබිය යුතු අතර ඒ සඳහා ඉංග්‍රීසි ‘Z’ අකුරේ හැඩයට ඇති යකඩ අඬුවක් ආධාර කරගනු ලැබේ. මෙම වයින් යන්ත්‍රයට ඉහළින් අඩි 1.5ක් පමණ විෂ්කම්භය සහිත ලෝහ ඝණ්ඨාරයක්වන අතර එය ඔරලෝසුවේ සීනුව වශයෙන් ක්‍රියාකර ඇත. විනාඩි 15කට වරක් සීනුවේ වැදීම සඳහා ලෝහයෙන් ම කළ මිටියක්වන අතර එය මේ වනවිට අක්‍රීයව පවතී. ඒ සඳහා වයින් යන්ත්‍රය දින 06කට වරක් කුඩා යතුරකින් වයින් තැබිය යුතුය.
ඔරලෝසුව ක්‍රියාත්මකවීම පිණිස ඔරලෝසු බට්ටා යනුවෙන් හඳුන්වන තරමක් විශාල දිගැටි
ලෝහ නිර්මාණයක් වන අතර එය ලෝහ කම්බි සහ බොලොක්ක ආධාරයෙන් ඉහළ පහළ ගමන් කරවීමට නිර්මාණයකර
ඇත. මෙම හෝරා යන්ත්‍රයේ මනා ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ලිහිසි ද්‍රව්‍ය ද ගෙන්වා
ඇත්තේ එංගලන්තයෙන් ම ය. රත්නපුර නාගරික දිස්ත්‍රික් කවුන්සිලයේ සභාපතිවරයා විසින් 1931
මැයි 06 දින ලන්ඩනයේ ලුඩ්ගේට් හිල්හි ටරට් ඔරලෝසු කර්මාන්ත ශාලාවට යවන ලද ලිපියෙන්
ඒ බව පැහැදිලි වේ (රත්නපුර මහා නගර සභාවේ පැරණි ලේඛන).
ඡායාරූප අංක - 27, 28, 29
ඔරලෝසු කණුවේ වර්තමාන ස්වරූපය
2022 වර්ෂය වනවිට වසර 100ක් සම්පූර්ණ කර ඇති මෙහි තීන්ත ආලේප කිරීමට හෝ වෙනයම් කටයුත්තක් කිරීමේ දී හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතු බැව් රත්නපුර මහා නගර සභාව පවසයි.
මේ වනවිට මෙම ස්මාරකයට තරමක තර්ජනයක් වී ඇත්තේ කුළුණේ ඉහළ ඇති කවුළු තුළින් ඇතුළට පැමිණෙන පරෙවියන්ගෙන් ය. එම පක්ෂීන්
විසින් වසුරු දැමීම සහ ඇතුළට රැගෙන එනු ලබන බෝ (Ficus religosa) වැනි ශාකවල බීජ පැළවීම තුළින් කුඩා බෝ ගස් කිහිපයක්
වැඩී තිබෙනු දැකිය හැකිය. පළමුවන ලෝක යුද්ධයෙන් මිය ගියවුන් සැමරීම වස් මෙරට ඉදිකර ඇති හෝරා ස්ථම්භ දෙකෙන් එකක්වන (අනෙක
කුරුණෑගල ඔරලෝසු කණුවයි) රත්නපුර ඔරලෝසු කණුව මතු පරපුර උදෙසා ද ආරක්ෂිත ස්මාරකයක්
සේ ප්‍රකාශයට පත්කර රැකගැනීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයක් බැව් කිව යුතුය.
ආශ්‍රිත ග්‍රන්ථ
·කටුගම්පල, මංගල, 2005, පෞරාණික ස්ථාන හා ස්මාරක, රත්නපුර දිස්ත්‍රික්කය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
·ගයිගර්, විල්හෙම්, 2004, අසිරිමත් ලංකාව, මහින්ද පතිරණ (පරි.), ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
·ගුණරත්න, ආර්. එල්, ඇතුළු තවත් අය (සංස්.), 1987, රත්නපුර මහ නගර සභාව - ශත සංවත්සර සමරු කලාපය 1887 - 1987, රත්නපුර මහ නගර සභාව.
·මනමේන්ද්‍ර ආරච්චි, කැළුම් නලින්ද, 2011, රත්නපුරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජීව විවිධත්වය සහ ප්‍රාග් ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය.
·විජේරත්න, එච්.එම්. ජයන්ත, 2013, රත්නපුරය ඈත සියවස සහ තවත් කතා, සරසවි ප්‍රකාශකයෝ.
·විජේරත්න, එච්.එම්. ජයන්ත, 2017, රත්නපුර දිස්ත්‍රික්කයේ අභිලේඛන සහ පැරණි ස්මාරක, සරසවි ප්‍රකාශකයෝ.
·සිරිවර්ධන, ඇල්. බී., 1968, රත්නපුරේ යටගියාව, සපරගමුව, ඩී.ඩී.ජේ. විජේසුන්දර ඇතුළු තවත් අය (සංස්.), රත්නපුර ප්‍රාදේශීය කලා මණ්ඩලය. (පි. 25 - 33)
·Abeyaratne, Malcolm (ed.), Ratnapura, The District as seen by Government Agents.
·Abeyawardana, H. A. P., 2002, Heritage of Sabaragamuwa, Sabaragamuwa Development Bank.
·Deraniyagala, S. U., 2004, The Prehistory of Sri Lanka, Department
of Archaeological Survey.
·Ceylon
Observer,
1941. 05. 26, Colombo.
·Cook, Elsie E., 1953, Ceylon, Its Geography, Its Resources and
Its People, Macmillan and Company Limited, London.
·Paranavitana, S., 1970, Inscriptions of Ceylon, Volume I, Department of Archaeology,
Ceylon.
·Perera, Halawathage Nimal, 2010, Prehistoric Sri Lanka, Late Pleistocene Rockshelters and an
Open-air Site, BAR International Series 2142.
=====================================================================================
එම්.ඩබ්. ඉන්දික, පුරාවිද්‍යා නිලධාරී (III ශ්‍රේණිය), මධ්‍යම සංස්කෘතික අරමුදල, රත්නපුර ව්‍යාපෘතිය.
එම්.ඩබ්. ඉන්දික, පුරාවිද්‍යා නිලධාරී (III ශ්‍රේණිය), මධ්‍යම සංස්කෘතික අරමුදල, රත්නපුර ව්‍යාපෘතිය.
කුසුම්ප්‍රිය රාජපක්ෂ, ඡායාරූප ශිල්පී (III ශ්‍රේණිය), මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය.
එම්.ඩී. අසංක සංජීව මඩපාත, පුරාවිද්‍යා නිලධාරී (II ශ්‍රේණිය), මධ්‍යම සංස්කෘතික අරමුදල, රත්නපුර ව්‍යාපෘතිය.
රත්නපුර මහ නගර සභා ලේඛනාගාරය